මානව සංහතිය, උග්‍ර වෙමින් පවතින්නා වූ භයංකර අර්බුදයකට මුහුණ පා සිටී. ඒ අර්බුදය හමුවේ පවත්නා සැබෑ සහ මූලික අභියෝගය වන්නේ, ආර්ථික සංවර්ධනය හා පාරිසරික තිරසර භාවය මනාව සංයෝජනය කරමින් මිනිසා විසින් ම ඇති කරන ලද කාලගුණික විපර්යාසයන්ගේ අහිතකර ප්‍රවණතා සංසිඳුවන්නේ කෙසේ ද යන්න පදනම් කරගත් තිරසර සංවර්ධන මාවතට පිවිසීම යි.
පොසිල ඉන්ධන භාවිතය හා වැඩි දියුණු කරන ලද අභිජනන ක්‍රම ශිල්ප ඇසුරින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම වැනි අතීත තාක්ෂණික සංවර්ධනයන් මඟින් අපගේ ජීවන තත්වයන් උසස් වූවා සේම ඉන් පරිසරය මත ඇති කළ අනපේක්ෂිත මෙන් ම අනවශ්‍ය අතුරු ප්‍රතිඵල රාශියකි. කිසිදු තාක්ෂණික විසඳුමක් සර්ව සම්පූර්ණ නොවන අතර ඒ හේතුව නිසා උසස් තාක්ෂණයන්ගේ ප්‍රතිඵල අත් හැර දමනවා වෙනුවට ඉන් හට ගන්නා අනපේක්ෂිත ප්‍රතිඵලයන්ට අනු ව හැඩ ගැසීමට හා ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට අප උගත යුතු ය.
ක්ලෝරො ෆ්ලොරො කාබන් (CFC) භාවිතය මඟින් ඕසෝන වියන මත ඇති වන බලපෑම සොයා ගත් විද්‍යාඥයන් තිදෙනා අතරින් එක් අයකු වන නොබෙල් ත්‍යාග සම්මානිත පෝල් ක්‍රැට්සන්, පෘථිවි ඉතිහාසය තුළ වර්තමාන යුගය හැඳින්වීම සඳහා 'ඇන්ත්‍රොපොසීන' යන යෙදුම භාවිතා කළේ ය. 'මිනිසා තැනූ යුගය' යන අරුත් ඇති මේ ග්‍රීක යෙදුමෙන් ක්‍රැට්සන් අදහස් කළේ තීරණාත්මක පෘථිවි පද්ධතීන් බොහොමයක් මානව වර්ගයා විසින් බරපතල ලෙස අවුල් කොට දමා ඇති බව යි. ක්ලෝරො ෆ්ලොරො කාබන් (CFC) භාවිතය තුළින් මිනිස් වර්ගයා විසින් ඕසෝන නිර්මාණය වීමේ ස්වභාවික ක්‍රියාදාමය අහම්බෙන් සියතට ගනු ලැබීය. දෛවයේ සරදම වන්නේ ඕසෝන් ස්ථරය ක්ෂය වීමේ ක්‍රියාදාමය පිලිබඳ, එය වඩාත් බරපතල ලෙස සිදුවූ 70 දශකයේ මුල් භාගයේදී මිනිසා හාංකවිසියක් හෝ නොදැන සිටීම යි.
ඉදිරියේ දී මෙවැනි වෙනත් අනපේක්ෂිත විස්මයන් අනාවරණය කර ගැනීමට හෝ කටුක අයුරින් ඉගෙන ගැනීමට අපට සිදු වන බව සැකයකින් තොර ව කිව හැක්කේ, මානව සංහතිය විසින් පෘථිවියට සිදු කරන ඇතැම් බරපතල හානි පිළිබඳ අප තවමත් හරි හැටි නොදන්නා බැවිනි. බිලියන 6.8ක් වූ පෘථිවි ජනගහණයේ ප්‍රමාණයත්, ඇ. ඩොලර් 10,000 ක් පමණ වූ ඒක පුද්ගල නිෂ්පාදනය තුළින් මතු වන ලෝක ආර්ථික ක්‍රියා දාමයන්ගේ පරිමාණයත් කෙතරම් දැවැන්ත වන්නේද යත් එමඟින් පෘථිවියේ ස්වභාවික පද්ධතීන් මත ඇති කළ දැවැන්ත ඇන්ත්‍රොපොජෙනික (මිනිසා විසින් ඇති කළ) බලපෑම තවමත් වටහා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.
පශු සම්පත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සත්වාහාරද ඇතුළුව සමස්ත මානව වර්ගයා විසින් සෘජු හා වක්‍ර ලෙස පරිභෝජනය කරනු ලබන ආහාර ප්‍රමාණය කෙතරම් විශාල වන්නේද යත් එය පෘථිවිය මත සිදු වන ප්‍රභාසංස්ලේෂණය මඟින් නිපැයෙන සංයෝගයන්ගෙන් 40%ක් පමණ වේ. අපගේ වගා බිම් හා තෘණ බිම් තුළ ප්‍රභා සංස්ලේෂණය සඳහා අධිකාරී බලය පතුරණ අපි, අපගේ ගොඩනැගිලි, මං මාවත් හා වෙනත් කෘත්‍රිම ව්‍යුහයන් සඳහා අත්පත් කරගත් ඉඩකඩෙහි ප්‍රභාසංස්ලේෂණය නවතා දමා ඇත්තෙමු.
ප්‍රභා සංස්ලේෂණයෙන් අති මහත් ප්‍රමාණයක් මානව වර්ගයාගේ ආධිපත්‍යයට නතු වීමත් සමඟ ම වෙනත් සත්ව විශේෂයන් සඳහා ආහාර මෙන් ම නිජබිම් ද අහිමි වී යාම පුදුමයක් නො වේ. මිනිසාගේ බලවත් ගිජු බව විසින් ඇතැම් විට ඔහුගේ පැවැත්ම රඳා පවතින්නා වූ ඇතැම් සත්ව හා ශාක විශේෂයන්ගේ පවා ගහණයන් ශීඝ්‍ර ලෙස අඩු වී යාමට හෝ ඇතැම් විට වඳ වී යාමට මඟ පාදනු ලැබ තිබේ. පරාගණයට හවුල් වන කෘමි විශේෂ කෙමෙන් අභාවයට යමින් පවතී. සියලු උභය ජීවීහු ප්‍රභේද පිටින් වඳ වී යති. ලෝකය පුරා විවිධ මත්ස්‍ය වර්ග අතුරුදන් වෙමින් පවතී.
දැවැන්ත ගංගා මුහුදට ගලා යාම ඇතැම් විට අවහිර කරමින් මහ පරිමාණ ලෙස ඉදිකරන වේලි මඟින් අපි ජල චක්‍රයේ මූලික පදනමට බාධා කොට ඇත්තෙමු. ලෝ වටා වාරි සම්පාදනයට යෙදවෙන භූගත ජලය නැවත පිරෙනවාට වඩා වේගයෙන් මුදා හැරීම සිදුවන අතර ඉන්දියාවේ, චීනයේ හා ඇමෙරිකාවේ ඇතැම් පෙදෙස් වල භූගත ජල මට්ටම තියුණු ලෙස පහත වැටෙමින් පවතී.
අපගේ ග්ලැසියර (අයිස් කඳු) දිය වීම හා බිඳ වැටීම දැනටමත් ආරම්භ වී තිබේ. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා කඳුකර පෙදෙස් වලට වසින වැසි තව දුරටත් හිම බවට පරිවර්තනය නොවේ. එහි අරුත වන්නේ වසන්තයේදී හා ගිම්හානයේදී ක්‍රමිකව දිය වී යාමට නියමිත හිම තට්ටු වෙනුවට ශීත සමයේ දී ගලායන ජල දහරා ඇති විම යි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් වගාවන් නිසි ලෙස වර්ධනය වීමට පෙරාතුව වගා බිම් වෙත ජලය ගලා යාම සිදු වනු ඇත. ආහාර නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා මිනිසා විසින් රසායනික පොහොර ලෙස නයිට්‍රජන් අධික ප්‍රමාණයක් පොළවට යොදනු ලබන අතර එය ජෛව විද්‍යාත්මක හෝ භෞතික ක්‍රියාදාමයක් තුළින් ස්වභාවිකව තිර කැරෙන නයිට්‍රජන් වලට වඩා බෙහෙවින් වැඩි ප්‍රමාණයකි. මෙසේ අධික ලෙස තැන්පත් වන නයිට්‍රජන් නිසා හරිතාගාර වායුවක් ලෙස සැලකෙන නයිට්‍රස් ඔක්සයිඩ් පරිසරයට විමෝචනය වීමත් නයිට්‍රජන් අධික ප්‍රමාණයෙන් ගංගා වලට එක් වීමත් සිදු වේ. මෙහි ප්‍රතිපලය වන්නේ දැවැන්ත ගංගා මුවදොර වල පෝෂක ලෙස රැස්වන නයිට්‍රජන් නිසා එහි සුපෝෂණ තත්වයක් පළමුව ද, ඔක්සිජන් හිඟ තත්වයක් දෙවනුව ද හට ගැනීම නිසා නිස්සාර වූ මළ කලාප ඇති වීම යි. ලෝ පුරා පිහිටි මෙ සේ නිසරු වී ගිය ගං මෝය සියයකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. පෘථිවි පරිසර පද්ධතීන් අතරින් වඩාත් වැදගත් හා සාරවත් ප්‍රභේදයක් අප මෙ සේ විනාශ කර දමමින් සිටින්නෙමු.